Sunday, May 13, 2018

තුනපහ හදන හරිම ක්‍රමය ප්‍රවීණ සුපවේදී පබිලිස් මහතාගෙන් දැන ගනිමු

ලෝකයේ රසවත්ම ආහාර මිහිර ඇත්තේ අපටය. ඒ නිසාම අපේ ගෘහණියන් උපතින්ම උයන්න පිහන්න දක්ෂයන්ය. මේ බව මුළු ලෝකයට කියන්නේ හෙළයේ ප්‍රවීණතම සූපවේදී ආචාර්ය පබිලිස් සිල්වා මහතාය. ඔහු අපගේ ආහාරවල රසය ලොවටම කියන ගල්කිස්ස මහ හෝටලයේ ප්‍රධාන සූපවේදියා බවට පත් වූයේ මේ දක්ෂතාවයෙනි.
ඔහු උයන්න පිහන්න ඉගෙන ගත්තේ පළපුරුද්ද හා දක්ෂතාවයෙනි. තමන්ටම ආවේනික වූ දේශීය සූපවේදයක් ගොඩනගා ගැනීමට ඔහුට හැකි වී ඇත්තේ අවුරුදු ගණනාවක ඔහුගේ පළපුරුද්දෙනි. අද ඔහු ඔබ වෙත කැඳවාගෙන එන්නේ පාඨක ඔබගේ පුංචි ඉල්ලීමක් ඉටු කිරීමේ අපේක්ෂාවෙනි. තුනපහ ගෙදරදීම හදා ගන්නා ක්‍රමය ගැන අපේ සහෘද පාඨක ගෘහණියන් නිරතුරුවම විමසති. මෙය සාදා ගැනීම පබිලිස් සිල්වා මහතා පැහැදිලි කළේ වර්තමානයේ ගෘහණියට ගැළපෙන අයුරිනි.
“දැන් අපේ නෝනලාට තුනපහ ගෙදරම අඹරලා හදාගන්න බැහැනේ. තුනපහ කියන්නේ කොත්තමල්ලි, සූදුරු, මාදුරු, මිරිස් ගලේ අඹරාගෙන ගලේ ගුලි 05 ක් හදනවා. මේ ගුලි පහට මිරිස්, ගම්මිරිස්, අබ එකතු කළ විට තමයි තුන පහ වෙන්නේ.
මේ වැඩේ අපේ නෝනලාට දැන් කරන්න බැහැනේ. ඒ අයට ගලේ මේවා අඹරන්න වෙලාවක් තියෙනවද…. ඊටත් මිරිස් ගලක් ගෙදර තියෙන්ඩත් ඕනේ. ඒ නිසා මම හිතුවා තුනපහ කුඩු පැකට් එකක් කඩෙන් ගෙනත් හදනවාට වඩා හොඳට සාදන සරල ක්‍රමයක් කියා දෙන්න. මේ ක්‍රමයට ගෙදරදීම සාදා ගත්තොත් හොඳ පිරිසුදුවට හදා ගන්නත් පුළුවන්. ඒ විතරක් නොවෙයි ඔය කඩෙන් ගන්න කරි පවුඩර්වලට වඩා හොඳ රසයකුත් තියේවි.
හැබැයි ඉතිං අපේ නෝනලා නම් පුරුදුවෙලා තියෙන්නෙම සුපර් මාකට් එකට ගියා රාක්කේ බැලුවා ගත්තා. ඔන්න ඊට පස්සේ තමයි මැසිවිලි… රහ නැහැ කියනවා. අරවා මේවා කලවම් කරලා කියනවා. මේ කිසි ගැටලුවක් නැහැනේ තමුන්ම ඔය ටික ගෙදරදි හදා ගත්තොත්. කාටවත් දොස් කියන්නත් ඕනේ නැහැ. මුදලත් ඉතිරියි. රසට උයන්නත් පුළුවන්.
ඇත්තටම මේ කරි පවුඩර් කියලා කිව්වට මේවා අපේ දේශීය ඖෂධ. මේවා කෑමට ගන්නා විට නියමිත මාත්‍රාවට ගැනීම තමයි වඩාත් ගුණ. නමුත් අපේ නෝනලා මොකද කරන්නේ මුලින්ම සූදුරු, කොත්මල්ලි, මාදුරු වෙන වෙනම ව්‍යාංජනයට දානවා. ඊට පස්සේ ආයෙමත් කරි පවුඩර් ටිකකුත් මේකටම දානවා. එතකොට මොකද වෙන්නේ එකම වර්ගයෙන් දෙවරක්ම එකම ජාතියෙන් හොද්දට එකතු වෙලා. ඒ නිසා මේ තුන් ජාතියම නියම මාත්‍රාවට එක පාරක් යෙදුවොත් හොඳටම ප්‍රමාණවත්.
දැන් අපි බලමු තුනපහ හදා ගන්නේ කොහොමද කියලා. මොකද අපේ නෝනලා මහ අමාරු කාරියක් කියලා හිතුවට ගෙදරදි තුනපහ හදාගන්න එච්චර අමාරු නැහැ. හිතේ තියෙන්න ඕනේ ආසාව විතරයි.
කොත්තමල්ලි ග්‍රෑම් 500ක්
සුදුරු ග්‍රෑම් 250ක්
මාදුරු ග්‍රෑම් 50ක්
මේ වර්ග 03 හොඳට සෝදා වේළා ගන්න. ඊට පස්සේ බ්ලෙන්ඩරයට දමා කොටා ගත්විට මෙය ව්‍යාංජන සඳහා කදිමයි. මීට අමතරව තමයි මිරිස්, ගම්මිරිස්, අබ කොටා ගන්නේ. නෝනලා කරන තවත් වැරැද්දක් තමයි එයට රම්පෙ, කරපිංචා, එනසාල්, කරාබුනැටි යොදනවා වගේම එක පාරම විශාල ප්‍රමාණයක් මේ ආකාරයට කොටා ගැනීම.
ඇත්තටම පවුලක ඉන්නේ පස් දෙනෙක් නම් ඒ පස් දෙනාට මේ ප්‍රමාණය සති දෙක තුනකට ප්‍රමාණවත්. මේවා මාස ගණන් තියාගන්නවාට වඩා ටික කාලයකින් ඉවර කළොත් එහි ගුණයත් වැඩියි. රසයත් වැඩියි. ඒ විතරක් නොවෙයි ජලයට, වාතයට විවෘත වෙන්න තිබෙන අවකාශයත් අඩුයිනේ. ඔන්න එහෙනම් එය විදිහටත් කරි පවුඩර් හදලා රස බලන්න.”

No comments: