Sunday, May 17, 2020

bonsai planting

බොන්සායි කළාව ඉගෙන ගනිමු. ඉතා ඉහළ ආදායමක් ලබමු.


චීනය තමයි බොන්සායි කලාවේ ආරම්භය. බොන් කියන්නේ පැතළි බදුන කියන තේරුම. සායි කියන්නේ කුරු ගස කියන එක. විශාල ගසක පෙණුම එන්න, කුරු ගසක් නිර්මාණය කර ගැනීම තමයි බොන්සායි කලාවේ අරමුණ. චීනයෙන් පස්සේ ජපානයට මේ කලාව පැතිරුනා. මේ කලාව වසර පන්සීයකට වඩා පැරණියි. අතේ සල්ලි නැති අයට බොන්සායි කියන්නේ ඉතා හොද ධන උල්පතක්. මේකට ඉවසීම තියෙන්න ඕන. ඒ වගේම කලාත්මක ඇහැක් තියෙන්න ඕන.
බොන්සායි කරන්න යොදා ගන්නෙ කුඩා කොළ තිබෙන ශාක. කොස් , දෙල්, වගේ ලොකු කොළ තිබෙන ශාක යොදා ගන්නෙ නැහැ. අරටුව තිබෙන, වැඩි ආයුෂ තිබෙන, ඇට්ටර වෙන ගස් තමයි මේකට යොදාගන්නේ.
1. කුබුක්
2. කෝං
3. මී
4. කළුවර
5. බුරුත
6. ඇට්ටේරියා
7. මාදං
8. නුග වර්ග
9. දෙළුම්
10. දිවුල්
11. කරද
12. සියඹලා
13. බෝගන්විලා
14. බෝ
15. බෙන්ජමිනා
16. පළු
17. වීර
වගේ ශාක මේකට සුදුසුයි.

වගා බදුන තෝරා ගැනීම

උස අඩු වගා බදුන් තෝරා ගන්න. අගල් තුනක් පමණ උස නම් වඩාත් සුදුසුයි. මැටි බදුන් වඩාත් හොදයි. ප්ලාස්ට්ක් බදුන් ගන්නවා නම් ඒක ස්වභාවික පෙණුම එන්න හදා ගන්න වෙනවා. සිමෙන්ති බදුන් යොදා ගන්නත් පුළුවන්. ඒ වගේ සිමෙන්ති භාජන අපිටම ගෙදරදී උනත් හදා ගන්න පුළුවන්. ඒකට අසම්මත හැඩ යොදා ගන්නත් පුලුවන්. රවුම්, කොටු වගේ හැඩ මෙන්ම නමක් කියන්න බැරි අමුතු හැඩ තියෙන්න ගෙදරදීම සිමෙන්තියෙන් හදා ගන්න පුලුවන්. අගල් තුනට වඩා උස බදුන් ටිකක් ලොකු ගස් වලට යොදා ගන්නවා. කිරි හට්ටියක උනත් මේවා හදා ගන්න පුලුවන් බවත් මතක් කළ යුතුමයි.

වගා මාධ්‍යය

ගඩොල් කැට, බොරළු, වියළි ගොම, ගගේ වැළි, අගුරු, මතුපිට පස් සමාන පුමාන වලින් ගන්න. ගඩොල් කැට සෙන්ටිමීටරයක් පමන වෙන්න කඩා ගන්න. ගඩොල් වලින් කොටසක් කුඩු කරගෙන වෙනම තියා ගන්න. අගුරුත් එහෙමම තමයි. කොටසක් සෙන්ටිමීටරයක් විතර කෑලි සහ තව කොටසක් ඉතා කුඩා කෑලි වගේම කොටසක් පිටි වගේ වෙන්න අඹරා ගන්න. භාජනේ යටටම ⁣ඉහත කී දේවල් සමානව අරගෙන කලවම් කරලා ලොකු කැට භාජනේ පතුළට දාන්න. භාජනේ මැද හරියට මීඩියම් සයිස් ඒවා දාන්න. උඩට පිටි වගේ අඹරා ගත් ඒවා දාන්න. මේ පස් හදා ගන්න කොට, විවිධ සයිස් වල දැල් වලින් පෙරා ගන්නවා. ඒත් මුලදී එහෙම කරන්න වියදම් කරන්න ඕන නැහැ. ඔය මම කීව විදිහට හදා ගත්තාම හරි.

පැළ තෝරා ගැනීම හා බදුන් ගත කිරීම.

පොඩි පැලයක් තෝරා ගන්න. එහි පස් ඉවත් කරන්න. මේ සදහා ගෑරොප්පුවක් භාවිතා කරන්න පුළුවන්. මුල් වලට හානි නොකර මේ වැඩේ කරන්න ඕන. මුදුන් මුල කපන්න හදිස්සි වෙන්න එපා. මුදුන් මුලට උඩින් ඉතා හොද ශක්තිමත් මූල මණ්ඩලයක් තිබේ නම් පමණක් මුදුන් මුල මුලින්ම නොකපා ටිකක් පහළින් කපන්න. මුදුන් මුලට අමතරව ඉතා හොදින් මූල මණ්ඩලය වැඩ්ලා නැති නම් මුදුන් මුල කපන්න එපා. බදුන් ගත කරන්න. පසු කාලීනව පෝච්චිය හා පස් මාරු කරන කොට මුදුන් මුල කපන්න පුලුවන්. මුදුන් මුල හැර වෙනත් මුල් හොදින් වැවිලා නැති නම්, මුදුන් මුල කැපුවොත ගහ මැරෙන්න පුලුවන්.
දැන් පැලය පෝච්චියේ සිටුවන්න. පැලයේ මුල් ඇදීම සිදු වී අළුත් දළු දමන තුරු, කිසිදු රසායනික පොහොරක් දාන්න එපා. අළුත් දළු දැම්මා කියන්නේ පසට මුල් ඇදලා කියන එක. ඒ කාලෙදී යෝගට් හැන්දක් විතර රසායනික පොහොර දාන්න. බෝගන්විලා වැනි මල් පිපෙන ගසක් නම් පොස්පරස් අඩංගු පොහොරක් දාන්න. කොළ පමණක් වැවෙන ගසක් නම් නයිට්‍රජන් අඩංගු පොහොරක් (යුරියා) දාන්න.
පැලයේ මුල සිට අගල් හතරක් යන තුරු තිබෙන අතු කපා ඉවත් කරන්න. තියුණු මුවහත තිබෙන පිහියක් හෝ අඬුවක් භාවිතා කරන්න.
අතු බෙදීම ගැන සැලකිලිමත් වන්න ඕන. පැලයේ ඉදිරිපසට අතු වැවෙන්න දෙන්න එපා. ඉදිරිපසින් බලන විට ශාකයේ කද පේන්න ඕන. එතකොට තමයි එහි වයස ගිය පෙණුම එන්නේ. ඉදිරි පස අතු තිබේ නම් කපා ඉවත් කිරීම හෝ එක් පසෙකට අත්ත නමා කද පෙනෙන සේ සැකසීම කළ යුතුයි.
කදේ මුල සිට අගල් හතරක පමණ උසින් වම් පසට අත්තක් යවන්න. ඊට ටිකක් උසින් පසුපසට අත්තක් යවන්න. ඊට තරමක් උසින් දකුණු පසට අත්තක් යවන්න. ගසේ ඉහළට යන විට කේතුමය හැඩයක් ගන්න උත්සාහ කරන්න. අනවශ්‍ය අතු කපා ඉවත් කරන්න. අවශ්‍ය අතු ඉතිරි කරගෙන ඒවා වටේ තඹ හෝ ගැල්වනයිස් කම්බි ඔතා එය අවශ්‍ය හැඩයට සකසා මාසයක් දෙකක් තබන්න. එවිට එම හැඩයට අනුව අත්ත හැඩ ගැසේ. පසුව කම්බි ඉවත් කරන්න ඕන. අතු කප්පාදු කරන්නත් ඕන.
දවසට පැය තුනක් හතරක් හිරු එළියට නිරාවරණය කළ යුතුයි. වාතාශ්‍රය ලැබෙන්නත් ඕන. ගෙ ඇතුලේ පැලය තබනවා නම්, ජනේළයක් අසල දිනකට පැය තුන හතරක් තබන්න. වාතාශ්‍රය එන්න ජනේලය අරින්න. ඉතා තද සුළං එන තැන් වල පැළ තබන්න එපා.
අවුරුද්දකට වතාවක් වත් පෝච්චියෙන් පැළ ගලවා, පස් අළුත් කරන්න ඕන. ඒ වගේ වෙලාවක මුදුන් මුල වර්ධනය වී තිබේ නම් එය කපා ඉවත් කරන්න පුළුවන්.
බදුනේ ජල වහනය නිසි පරිදි සිදු වෙන්න නම්, අනිවාර්යයෙන්ම බදුන පතුළේ සිදුරු කිහිපයක් තිබෙන්න ඕන. බදුනේ පස් වල පාසි වැවෙන්න ඕන. ගස් වල, ජලය නිතරම ඇති තැන් වලින් පාසි ගලවා බදුනේ මතුපිට වවන්න පුළුවන්.
පාසි නොදමා බදුන මතුපිට විවිධ අලංකාර ගල් වර්ග තැන්පත් කරන්නත් පුළුවන්. ගසක හැඩය පහළට කඩා හැලෙන සේ සැකසීම, කදු මුදුනක තිබෙන ගසක් සේ සැකසීම, කේතුවක හැඩයට සාකසීම තමයි වඩාත් ජනප්‍රිය.
කුඩා පැළයක් අරගෙන බොන්සායි කරනවා වගේම, ලොකු ගසක්, මුල් සමග ගලවා මුදුන් මුළ හා අනවශ්‍ය අතු කපා බොන්සායි කරන්නත් පුළුවන්. එවැනි අවස්ථා වල ගසේ කද විවිධ ආකාරයෙන් ඇඹරී ගිය පෙනුමක් එන්න ඉතා කුඩා ගුයින්ඩරයකින් සකසන්න පුළුවන්. නමුත් එය සීරු මාරුවට ඉවසීමෙන් කළ යුතු දෙයක්.
අළෙවි කරන කොට බදුන අළුත් කරලා, මතුපිට පාසි වැවීම හෝ අලංකාර ගල් ඇතිරීම කළ යුතුයි. ගස නඩත්තු කිරීම පිළිබදව පොඩි අත්පතුිකාවක් ගැනුම් කරුට ලබා දිය යුතුයි.
ජලය යෙදීමේ දී ස්පෙු් කිරීම හෝ ඉතා පරෙස්සමින් සිහින් සිදුරු ඇති භාජනයකින් සිදු කළ යුතුයි.
මේ ගැන ඉ⁣ගෙන ගන්න පුළුවන් යූ ටියුබ් වීඩියෝ වල ලින්ක් ටිකක් මම මුල් කමෙන්ට් වල දාන්නම්. ඒ ටික බලන්න. එහෙම දාලා තියෙද්දීත් "කොහොමද කරන්නේ" කියලා අහන අය ඉන්නවා. ඒ ගැන දුකයි. පොල් බොන්සායි එකේ එහෙම කමෙන්ට් කීයක් තියනවද කියලා නිකමට ඒ පෝස්ට් එකට ගිහින් බලන්නකෝ.
මුල් කමෙන්ට් වල මම දාල තියන වීඩියෝ සහ ඡායාරූප වලින් තවදුරටත් අදහස් ලබා ගන්න පුළුවන්.
ඉතා අලංකාර ගසක් ලබා ගැනීමට නම් වසර දෙකේ සිට හතර දක්වා කාලයක් ගත වෙනවා. නමුත් ඊට කලින් උනත් හොද පෙනුමක් ලබා ගන්න පුළුවන්. වසර අටක්, දහයක් වගේ කාලයක් මේ පැළ තියා ගෙන නඩත්තු කලොත්, ලක්ෂයකට වැඩි මිළකට එක පැළයක් දෙන්න පුළුවන් තත්ත්වයට ගන්න පුළුවන්.
වසර පුරා සකසා ගත් පැළ ටික
දළදා පෙරහැර කාලෙට මහනුවර පැත්තේ ගිහින් විකුනන්න පුළුවන්
මඩු පල්ලියේ මංගල්ලේ කාලෙට ඒ පැත්තේ පුදර්ශන කුටියක් දාල විකුනන්න පුළුවන්
මීගමුව, වෙන්නප්පුව වගේ පැති වල පල්ලි වල මංගල්ල කාලෙට විකුනන්න පුළුවන්.
කාර්යාල වල කාලෙන් කාලෙට පුදර්ශන පවත්වා අළෙවි කරන්න පුළුවන්.
බොන්සායි පුදර්ශන සංවිධානය කරලා අළෙවි කරන්න පුළුවන්.
කොළඹ, ටවුන් හෝල් පැත්තේ පේව්මන්ට් එකේ තියාගෙන විකුනන්න පුළුවන්.
ඔය උදාහරණ කීපයක් විතරයි. කෙටියෙන් කියනවා නම් බොන්සායි පැළ ලේසියෙන්ම විකුනන්න පුළුවන්.
අඩි පහක් හයක් උස ෂැම්පේන් පැලයක් රුපියල් තිස් හතලිස් දාහට විකුනන රටේ, ෆොක්ස්ටේල් පැළ රුපියල් විසි තිස් දාහට විකුනන රටේ බොන්සායි විකුනන්න බැහැ කියලා කලින් කොකෝ බොන්සායි පෝස්ට් එකට කමෙන්ට් කරපු අය ගැන දුකයි. එයාල මාකටින් ෆේල් අය. මුකුත්ම කර ගන්න බැරි අය.
තමන් දැනට කරන රස්සාව කරන ගමන් පැළ දෙතුන් සීයක් හදා ගන්න පුළුවන් අවුරුදු තුන හතරක් ඇතුළත. ඊට පස්සේ ඒ ටික විකුනලා ෆිනෑන්ස් නොකර කාර් එකක් ගන්න පුළුවන්. කරලා බලන්නකෝ මම කියනවට. ඒ නැතත් තමන්ගේ ගෙදර ලස්සන වෙන්න කියලා වත් පැල කිහිපයක් හදන්න.
මේ ලින්ක් ටච් කළාම අදාළ වීඩියෝ බලන්න පුලුවන්. නැත්නම් යූ ටියුබ් එකේ Bonsai කියලා සර්ච් කරන්න.
ලොකු පැල තෝරා ගෙන බොන්සායි කරන විදිහ
කම්බි ඔතන විදිහ
මුලින්ම පටන් ගන්න අයට
https://youtu.be/X-HZRupYrvQ
භාජන මාරු කිරීම
https://youtu.be/lJ74BrbTh8Y
නඩත්තුව
https://youtu.be/FvKW3_yrpPo
පස මාරු කිරීම හා කප්පාදුව
තවත් වීඩියෝ
Crishantha Dissanayake

No comments: